“සමාජ පරිවර්තනයක් සඳහා වූ තරුණ පරම්පරාවේ අපේක්ෂා ඉටුකිරීමේ වගකීම අපි බාර ගන්නවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

මේ සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කළ හැකි බවට අපි හැම දෙනාටම, මහත් විශ්වාසයක් තිබෙනවා. අද අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉරණමකට මුහුණ දී තිබෙනවා. ඔවුන් හිතුවේ ඔවුන් එකිනෙකා අතර පමණක් බලය හුවමාරු වීම චිරාත් කාලයක් ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් එළඹෙන 21 වැනිදාට සහතික වශයෙන්ම ඒ සම්ප්‍රදායික බල හුවමාරුව අවසන් වෙනවා.

අද ඔවුන් ඉතාම කැත, අවලස්සන, ජඩ දේශපාලනයකට අවතීර්ණ වී සිටිනවා. අසත්‍ය, මඩ, අවලාද විටෙක කෝපය, වෛරය ඔවුන් අපට එරෙහිව පතුරවමින් සිටිනවා. ඉදිරි දින කිහිපය තුළ තවත් එය තීව්‍ර කරාවි කියලා අපි හිතනවා. අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ, අපේ හතුරා අපිට එරෙහිව කරන කිසිම දෙයකින් අපේ ජයග්‍රහණය නතර කළ නොහැකි බවයි. පසුගියදා රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කළා, මම මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රකාශයක් කළා කියලා. ඔහුට අවස්ථාවක් තිබෙනවා ඔහුගේ ප්‍රකාශය නිවැරදි කර, කනගාටුව පළ කරන්න. එසේ නොකළහොත් අපි නඩු දමනවා. තිස්ස අත්තනායක කියලා තිබුණා අපි ආව ගමන් නුවර පෙරහැර නතර කරනවා කියලා. දැන් ඔවුන් නැවත ජාතිවාදය, ආගම්වාදය අවුළුන්න උත්සාහ දරනවා. තිස්ස අත්තනායක කණගාටුව ප්‍රකාශ කළත් අපි ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඔහු කූට ලේඛන සකස් කරන්න කප් ගහපු කෙනෙක්. එහෙම කරලා රිමාන්ඩ් භාරයට පත්වූ කෙනෙක්. දැන් දින කිහිපයකට පෙර අපේ වසන්ත සහෝදරයා අත්අඩංගුවට ගන්න නියෝග කළා කියලා විශාල මඩක් ගැහුවා. ඒ පිළිබඳවත් අනිවාර්යයෙන් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ කැත පන්නයේ දේශපාලන ක්‍රීඩාව දැන්වත් නතර කළ යුතුයි. අපි මේ තත්වයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.

ඊයේ පෙරේදා දවසක රනිල් වික්‍රමසිංහ “මා මිත්‍ර අනුර, මගේ යාළුවා” කිය කිය ඉන්නවා මම දැක්කා. ඔය එන්නේ ‘ශේප් වෙන්න’. යාළුවා කිය කියා මොනතරම් ශේප් වෙන්න ආවත් අපේ පාලනයක් යටතේ මහ බැංකු වංචාවට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ගන්නවාමයි. පසුගිය කාලේ එයා බාර් ලයිසන් දීපු ඒවා ගැනත් පරීක්ෂණ පවත්වනවා. ‘යාළුවා’, ‘යාළුවා’ කියලා මොනතරම් අපි පසුපස ආවත් එල්ආර්සී එකේ ඉඩම් බෙදපු ආකාරය ගැන අපි අනිවාර්යයෙන් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම ඔහු අපේ රටේ වංචනිකයන් ආරක්ෂා කර ගැනීමට දරන ප්‍රයත්නයන් ගැනද පරීක්ෂණ පවත්වනවා. රනිල්, සැප්තැම්බර් 21න් පස්සේ ඔබට යාළුවාගේ තරම තේරුම් යාවි.

NPP Youth Summit Crowd

අපේ රටේ තරුණ පරම්පරාව දීර්ඝ කාලයක් තිස්සේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පොර බැදුවා. විටෙක සටන්කාමී ලෙසද, විටෙක මතවාදී ලෙසද පොර බැදුවා. නමුත් අවසන් ජයග්‍රහණය ලබන්න අසමත් වුණා. ඔබ කළ ඒ අරගලය ඇතුලේ තිබූ සෑම අපේක්ෂාවක්ම, පරමාර්ථයක්ම ඉටුකිරීමේ වගකීම අපි සැප්තැම්බර් 21න් පස්සේ බාර ගන්නවා. අපේ රටේ දේශපාලනයට එන්න තිබෙන දොරටු පැරණි පාලකයන් විසින් වසා තිබුණා. දේපොළ පරම්පරාවෙන් පරම්පරාවට පවරනවා වගේ අපේ රටේ දේශපාලනයත් ගලා ගියේ පරම්පරාවෙන් පරම්පරාවට. ඒ පරම්පරාවේ දේශපාලනය ගැන තරුණ පරම්පරාවට තිබෙන්නේ විශාල පිළිකුළක්; හිරිකිතයක්. අලුත් පරම්පරාවට දේශපාලනය ගෞරවනීය තැනක්, වටිනාකමක් ඇති තැනක් බව පෙන්වීමට ජාතික ජන බලවේගයේ අපි අවශ්‍ය පරිවර්තන කරනවා.

සජිත් කියන කරන විකාර දෙස බැලුවහම ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් වීමට සුදුසුදැයි ඔබම කල්පනා කර බලන්න. ඔහු ජනාධිපති අපේක්ෂකයෙකු බවට පත් වන්නේම තාත්තා ජනාධිපතිවරයෙකුව සිටි නිසාමයි. නාමල් රාජපක්ෂත් එසේමයි. රනිල් එසේ වන්නේ මාමා ජනාධිපති වූ නිසයි. මේ රටේ ජාතික දේශපාලනය ගොනු වී තිබෙන්නේද පවුල් 04ක් 05ක් අතේ. ඔබේ දිස්ත්‍රික්කයේ, ඔබේ ආසනයේ පමණක් නොවෙයි, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දේශපාලන තත්වයත් එයම නොවේද? සමහර පවුල් තිබෙනවා තාත්තා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ලොකු පුතා පළාත් සභාව නියෝජනය කරනවා. පොඩි පුතා ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවා. දේශපාලනය පවුල් පඩිපෙළක තියලා වගේ. තාත්තා එක පඩියකින් ඉවත් වෙන විට පුතා ඒ පඩියට නගිනවා. මේ පරම්පරාගත දේශපාලන පවුල් අපේ රටට මහා විනාශයක් කර තිබෙනවා. මේ පවුල් පරම්පරා අතර හුවමාරු වෙන දේශපාලන බැට්න් එක තාවකාලිකව අපි අතට ලබාගෙන තරුණ පරම්පරාව වන ඔබ අතට ලබාදීම අපි වගකීමක් ලෙස පවරාගෙන තිබෙනවා.

Anura Kumara Dissanayake At NPP Youth Summit

ඒ දේශපාලන බැට්න් එක අපි පරම්පරාවෙන් පරම්පරාවට භාර දෙන්නේ නැහැ. ඒ වගේම මේ ලැබෙන බැට්න් එක පණනල පවතින තුරු අපේ අතේ තබා ගන්නේත් නැහැ. අපි එය තබාගෙන ඉන්නේ සීමිත කාලයකට පමණයි. අපේ වගකිම ඉටුකළ විගස අපි එය මේ රටේ තරුණ පරම්පරාවට බාරදීලා ඔබ රට කරන හැටි සැනසිල්ලේ බලාගෙන ඉන්නවා. අපි බදා ගන්න පුරුදු වූ මිනිස්සු නොවෙයි. අත් හරින්න පුරුදු වූ මිනිස්සු. සැප්තැම්බර් 21 වැනිදා සිදුවන්නේ හුදු දේශපාලන බල හුවමාරුවක් නොවෙයි. මෙතෙක් අපේ රටට උරුම කරදී තිබූ නරුම දේශපාලනය වෙනුවට මුළුමනින්ම පරිවර්තනය යුගයකට යොමු කරන දේශපාලනයක් සැප්තැම්බර් 21 දින උදා වෙනවා. අපි ඔබ එක්ව මේ දින කිහිපය වැඩ කළ යුත්තේ ඒ සඳහායි. අපේ දුප්පත් හා මැද පාංතික තරුණ පරම්පරාවට ගොඩඑන්න තිබෙන මාර්ගය තමයි අධ්‍යාපනය. අපේ රටේ නිදහස් අධ්‍යාපනය නොතිබෙන්නට පෞද්ගලිකව මා, ඔබ මෙතන නොසිටින්නට ඉඩ තිබුණා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අධ්‍යාපනයේ මහා විසල් පර්වර්තනයක් මේ රටේ තරුණ පරපුර හා දූ දරුවන් වෙනුවෙන් අපි සිදුකරනවා.

ඉතා පටු සීමාවක රඳවා තිබෙන මේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය අපි ඔබට සෞඛ්‍යය, සතුට, ප්‍රබෝධය ගෙනෙන ක්ෂේත්‍රයක් බවට පත් කරනවා. සංචාරක ව්‍යාපාරය රටට ආදායම් ගෙනෙන හා රැකියා උත්පාදනය කරන දියුණු කර්මාන්තයක් බවට පත් කරනවා. මේ රට සියලු පැතිවලින් පිරිසිදු කර, ඔබේ සිහින සැබෑ කරන ලස්සන ජීවිතයක් අත් විඳින්නට ඔබට ලැබෙන පොහොසත් ශ්‍රී ලංකාවක් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි ගොඩනගනවා.

Kalana Gunasekara At NPP Youth Summit

“21 වැනිදායින් පස්සේ අපි හමුවෙන්නේ අලුත් රටක මිනිස්සු හැටියට”
-රංගන ශිල්පී කලණ ගුණසේකර-

සැප්තැම්බර් 21 වැනිදාට තිබෙන්නේ මිනිසුන්ගේ බුද්ධි පරීක්ෂණයක්. ශක්තිමත් කොඳු ඇට සහිත මිනිසුන් අතර එහෙටත් නැති මෙහෙටත් නැති දුර්වල කොඳු සහිත සමහර මිනිස්සු ඉන්නවා. මෙවර අපි අතරින් බිහිවෙන්නේ, මෙතෙක් කල් මේ රටේ හොරු පාලනය කරලා කබලක් කරපු පාලක බස් රථය ඔවුන්ගෙන් බේරා ගෙන නවීකරණය කරලා, යන මාර්ගයත් නවීකරණය කරලා, හරිම ඉලක්කයකට පදවා ගෙන යන්න පුළුවන් පාලකයෙක්.

දැන් රටේ කොල්ලෝ කෙල්ලෝ විතරක් නොවෙයි වැඩිහිටි පරම්පරාවත් ශක්තිමත්. මේ පාර මාලිමාවට ඡන්ද ගලාගෙන එන්නේ පෝලිමට. ලංකාවේ විතරක් නොවෙයි පිටරට ඉඳලා ශ්‍රී ලාංකිකයෝ මේ සැරේ පෝලිමේ එනවා මාලිමාව දිනවන්න. දැන් ඒක නවත්වන්න බැහැ. අපේ විරුද්ධවාදීන්ට දැන් පුළුවන් මඩ ගහන්න විතරයි. ජාතික ජන බලවේගය සිංදුවක් කිවුවත් ගති. ඇඩ් එකක් හැදුවත් ගති. ඒවායින් කාටවත් මඩ ගහන්නේ නැහැ. මම පොඩි සරල කතාවක් කියන්නම්. නායකයා වෙන්න හිතාගෙන ඉන්න එක පුද්ගලයෙක් යනවා, තාරුණ්‍යයට වැඩ පෙන්වන්න; ක්‍රිකට් ගහන්න. පොඩි එකෙක් බෝලයක් දානවා පොල්ල ගැලවිලා වීසි වෙනවා. මේ සැරේ මේ ජනතාව බෝලේ දාන්නෙ එයාගෙයි රනිල්ගෙයි විකට් දෙකේම පොලු ගැලවිලා වීසි වෙන්න.

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු වගේ පට්ට ගොන් තියරි එකට රස්සාවල් දෙන්නේ නැහැ. සුදුසුකම් අනුව සුදුස්සාට සුදුසු තැන ලබා දෙනවා. අනුර සහෝදරයා නම් කවදාවත් විකාර කතා කියලත් නැහැ; කියන්නෙත් නැහැ කියලා අපි දන්නවා. මොකද, ඔහු බුද්ධිමත් නිසා කවදාවත් වගකීම් විරහිත කතා කියන්නේ නැහැ. රටක නායකයෙක් වෙන්න හිතාගෙන ඉන්න කොනෙකුට අලි මන්තර කියලා වල් අලි එළවලා දානවා වගේ මෝඩ කතා කියන්න පුළුවන්ද?

Crowd At NPP Youth Summit

දැන් එයා ළඟ තියෙන්නේ දැන් පාවිච්චියට නොගන්න පරණ ටෙලිෆෝන් එකක්. අනෙක් කෙනා ළඟ තියෙනවා දිරච්ච ගෑස් සිලින්ඩරයක්. බ්‍රේස්ලට් දෙන්න කතා කරපු මනුස්සයා දැන් කියනවා ගෑස් ටිකක් දෙන්නම් කියලා. ඒ ගොල්ලෝ ගැන ඊට වඩා කතා කරන්න දෙයක් නැහැ. දැන් තාරුණ්‍යය ශක්තිමත්. ඔවුන්ව අන්දන්න බැහැ. මේ පාර මාලිමාව කෝටියකින් නොවෙයි ඊටත් වඩා ගණනකින් දිනවන්න ඕනෑ. දැන් හැම ලාංකිකයෙකුටම මොළේ පෑදෙන්න ඕනෑ අපිට වුණේ මොකක්ද කියලා තේරුම් ගන්න. මෙතන ඉන්න තරුණ තරුණියෝ, කලාකරුවෝ සල්ලිවලට විකිණුනේ නැති කොන්ද කෙලින් මිනිස්සු. අපිට බොක්කෙන් ආපු නායකයෙක් ඉන්නෙ. ඒ නායකයා මේ රට ගොඩනගන එක බොක්කෙන්ම කරනවා.

76 වසරක් කාපු රට, අවංක මිනිහෙක් ඇවිල්ලා ගොඩදාන්න යනකොට කුහකකම් කිය කියා සමච්චල් කරන්න තරම් පහත් තත්වයකට වැටෙන්න එපා කියලා අපි ඔවුන්ට කියනවා. ලංකාවේ හිටපු සුන්දර මිනිසුන්ට වද දීලම මේ පාලකයෝ ඔවුන්ව අසරණ කළා. දැන් ඒ අසරණකම් නැහැ. ඔවුන් දැන් ශක්තිමත්. මේ 21 වැනිදා වෙනකල් ඔවුන් පුල පුලා බලා සිටින්නේ ඔවුන්ගේ ඇත්ත හයිය පෙන්වන්න. අපේ නායකයා ඇතුළු මේ රටේ සමස්ත ජනතාව එකතු වෙලා එදාට පස්සේ මුළු දකුණු ආසියාවටම ආදර්ශය ගන්න පුළුවන් රාජ්‍යයක් ගොඩනඟනවා. එදාට අපේ රටේ ජනතාවට සතුටු සිතින් සැහැල්ලුවෙන් ඇවිල්ලා අපේ කලා නිර්මාණ බලලා තෘප්තියෙන් නිවෙස් බලායන්න පුළුවන් වාතාවරණයක් ගොඩ නැගෙනවා. 21 වැනිදායින් පස්සේ අපි හමුවෙන්නේ අලුත් රටක මිනිස්සු හැටියට. 21 වැනිදා අනුර සහෝදරයාගේ ජයග්‍රහණය ස්ථිරයි. මාලිමාව ජයග්‍රහණය ස්ථිරයි. එදායින් පස්සේ ඔබත් දිනුම්. රටත් දිනුම්.

Eranga Gunasekara At NPP Youth Summit

“ස්මාර්ට් තාරුණ්‍යය මේ රට නව මඟකට හරවන බව අද ඔප්පු කර තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර-

අපි පුල පුලා බලා හිටපු ගේම් එකක් තිබුණා. අපිට ඕනකම තිබුණේ පොහොසත් රටක් හදන්න. ඒ වෙනුවෙන් අපි සටන් කළා. මතවාද ගොඩනැගුවා. තව දින 13යි අපිට තියෙන්නේ. එදාට මේ රටේ මේ ස්මාර්ට් තාරුණ්‍යය මේ රට නව මඟකට හරවන බව අද ඔප්පු කර තිබෙනවා. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගිය මේ තාරුණය කියා පාන්නේ ඒ සාක්ෂියයි. මෙතෙක් මේ රට වැනසූ පාලකයන්ගේ සාදය එදායින් අවසන් කරන පණිවිඩය තමයි අද මේ ඔබ ලබා දෙන්නේ. මෙතන ඉන්නේ රටක් වෙනස් කරන්න බලා සිටින තරුණ තරුණියන්. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න අප්‍රසන්න මහත්මයෙක් හිතුවා අපිට මේ රැලිය තියන්න කලින් දීපු තැන වෙනස් කරලා අපේ වැඩය අවුල් කරන්න පුළුවන් වෙයි කියලා. අප්‍රසන්න මහත්තයෝ ඔයා ළඟ ඔය චූටි චූටි සිඟිති කෙනෙහිලිකම්වලින් අපිව ආපසු හරවන්න බැහැ. අද මේ තරුණ රැලිය තුළ අපි ඒක ඔප්පු කර තිබෙනවා.

මේ රටේ ජවසම්පන්න තාරුණ්‍යය එක්ක ඔයගොල්ලන්ගේ සම්ප්‍රදායික මහලු දේශපාලනයට හැරෙන්නවත් බැහැ. ඒක හොඳින් මතක තබාගන්න. පසුගිය අරගලයෙන් අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ අරගලය තුළ අපේ සහෝදර බැඳීම් ශක්තිමත් වුණා. ඒ අරගලය නිසාම රනිල්ලා, රාජපක්ෂලා, සජිත්ලා හිතපු නැති තත්වයක් රට තුළ නිර්මාණය වුණා. අරගලයේ මූලික අභිලාෂයන්වලින් එකක් වුණේ අපේ රටේ පවුල් පාලනය අවසන් කිරීම. දෙවැනි එක තමයි අපේ රටේ ජාවාරම්කාර හොරුන්ට දඬුවම් ලබාදීම. තුන්වන කරුණු තමයි ඒ කොල්ලකාපු දේපොළ නැවත අත්පත් කර ගැනීම. හතර වැනි එක තමයි මේ සිස්ටම් එක වෙනස් කිරීම.

එම අරගලය තුළ විවිධ මතවාද තිබුණා. අපේ මතවාද සමග හැප්පුණු බොහෝ දෙනෙක් අද මෙතනට පැමිණ තිබෙනවා. ඒ අරගලයෙන් අපිට ලැබුණේ භාග ජයග්‍රහණයක් පමණයි. මමත් ඇතුළු අරගලයේ අපි හැමෝම ඒක දකින්න ඕනෑ. අරගලයේ අපිට ජවය තිබුණා; අධිෂ්ඨානය තිබුණා; සහෝදරත්වයත් තිබුණා. නමුත් එකක් අපිට නිර්මාණය කර ගන්න බැරි වුණා. ඒ තමයි සංවිධානාත්මක මහජන බලය. ඒ අඩුව තමයි රනිල්ලා රාජපක්ෂලා පාවිච්චි කළේ. අපි වැඩ ඇතුලේ අත්දැකීම් ලබලා ඉගෙන ගත්ත මිනිස්සු. වැරදිවලින් ඉගෙන ගත්ත මිනිස්සු. ඒ නිසා තමයි ජාතික ජන බලවේගය සමග එකතු වෙලා මේ පාදඩ ක්‍රමය වෙනස් කරන්න මිනිස්සු නැගිටලා තිබෙන්නේ; තරුණ පරම්පරාව නැගිටලා තිබෙන්නේ. අපිට එදා නොතිබුණු සංවිධානාත්මක බලය ගොඩනැගිය යුතුව තිබෙන්නේ දැනුයි.

අරගලයේ පාඩම් අධ්‍යයනය කර අපි මෙ සටනට ලැහැස්ති වුණේ අවුරුදු දෙකක ඉඳන්. මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉටු කරන්න පුළුවන් තැනකට අද අපි පත්වී තිබෙන්නේ ඒ නිසයි. රටේ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන්, කලාකරුවන්, ශිෂ්‍යයන්, කාන්තාවන්, තරුණ තරුණියන්, ධීවරයන්, කම්කරුවන්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්, විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු සියලුම ක්ෂේත්‍රවල ජනතාව අපිට එකතු කරන්න පුළුවන් වුණා. ඒ, අපි උගත් පාඩම්වලින් අත්දැකීම් ලබා වෙහෙස නොබලා වැඩ කළ නිසයි. අරගලයෙන් මාස 22කට පසුව දැන් අපිට පුළුවන් වෙලා තිබෙනවා හුදු දේශපාලන පක්ෂයකට එහා ගිය, සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු සහෝදර ජනතාව එකතු කරගෙන දැවැන්ත මහජන පවුරක්, සංවිධාන බලයක් ගොඩනඟන්න. මේක අපි ඔක්කෝම එකතු වී කළ සාමූහික වැඩක්. අපි දැවැන්ත කාර්යයක් කරන්නේ මේ බලය මගිනුයි. අපිට මේ රට නව පුනරුද යුගයකට පරිවර්තනය කරන්න, ඔසවා තබන්න හැකිවෙලා තිබෙනවා. අපිට එරෙහි සම්ප්‍රදායික බලය පරාජය කර නව දේශයක් ගොඩනැගීමේ ශක්තිය සතුව තිබෙන්නේ අපි ගොඩනැගූ මහජන බලයටයි.

දැන් අපි සාමූහික මිනිස් පොකුරක්. ඒ නිසා තමයි සතුරාට සිතා ගන්නවත් බැරි වේගයකින් අපි ඉදිරියට යමින් ඉන්නේ. අපේ අරමුණ ජයග්‍රහණය කිරීමට නම් නිශ්චිත වැඩපිළිවෙළක් අපිට ඕනෑ. මේ රටේ තාරුණ්‍යය එයට සූදානම්. අද මේ රටේ ලක්ෂ 85ක් වෙන තාරුණ්‍යය වෙනුවෙන් අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. “තෘප්තිමත් තාරුණ්‍යයක් – නිවහල් චින්තනයක්” කියන එක තමයි අපේ තරුණ වැඩපිළිවෙළේ තේමාව. මේක හුදු ලියවිල්ලක් නොවෙයි. මේ රටේ තාරුණ්‍යයේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වන ප්‍රායෝගික වැඩපිළිවෙළක්. අපි අද එය ඔබ අතට පත් කරනවා. තව දින 13කින් අපි මේ වැච් එක දිනලා මේ රටේ මහජන බලය පිහිටුවනවා. අනුර කුමර දිසානායක සහෝදරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන බවත්, ජාතික ජන බලවේගයේ පාලනයක් මේ රට තුළ ස්ථාපිත වන බවත් ස්ථිරයි. අපි ජය ගන්නවා වගේම මේ රට ගොඩනඟන බවත් ස්ථිරයි.

Anura Kumara Dissanayake Handover The Policy Book

Leave a Reply

Your email address will not be published. Required fields are marked *